ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් වෙස් බැනිස්ටර් මහතා ප්‍රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මඩුල්ලක් සහභාගී විය. මෙහිදී, පැසිෆික් සහයෝගීතාවයට අනුව දෙරටේ ද්විපාර්ශ්වික පුහුණුවීම් වර්ධනය කළ යුතු ආකාරය පිළිබදව සාකච්ඡා සිදු කර ඇත. තවද, සිවිල් සහ යුධමය මෙහෙයුම් වලදී එක්සත් ජනපදයේ සහ වෙනත් විදේශීය හමුදාවන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වලින් සහාය ලබා ගත යුතු ආකාරයත් වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය හා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයන් කෙරෙහි මානුෂීය සහාය දැක්විය යුතු ආකාරය පිළිබදවද සාකච්ඡා කර ඇත. .