ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අව්කොයින් මහතා අද දහවල් නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී වයිස් අද්මිරාල් අව්කොයින් මහතා සහ නාවික හමුදාධිපතිතුමන් ද්විපාර්ශ්විකව හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

දින 6ක නිල සංචාරයක් සඳහා පැමිණි "බ්ලූ රිජ්" යුද නෞකාව ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව අද සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ තූර්යවාදක කණ්ඩායම හා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම එක්ව සංදර්ශණයක් පැවැත්වීමට ද නියමිතය. තවද, නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී පැසිපන්දු, බේස්බෝල් හා පාපන්දු තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇති අතර, නාවික හමුදා නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන් නෞකාවේ දී විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයක් ද පැවැත්වෙනු ඇත.

"බ්ලූ රිජ්"  යුද නෞකාව ටොන් 19,200ක ධාරිතාවයකින් හා දහසකට වැඩි නැව් මුළුවකින් යුක්ත වේ. එය මාර්තු මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යන අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයක නිරතවනු ඇත.