සාම්පූර් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 177ක් මුල් අයිතිකරුවන්ට භාරදෙයි
 

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදා පාලනය යටතේ පැවති ඉඩම් වල කොටසක් නැවතත් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත බෙදාදීමේ වැඩසටහන යටතේ සාම්පූර් නාවික හමුදා කඳවුරට අයත්ව තිබූ තවත් ඉඩම් අක්කර 177ක් අද (25) නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත එම ඉඩම් නිල වශයෙන් භාරදුන් අතර, මෙම අවස්ථාවට විපක්ෂ නායක ගරු ආර් සම්බන්ධන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු නසීර් අහමඩ් මැතිතුමා, නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, මුතූර් ප්‍රාදේශීය ලේකම් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය. මෙම ඉඩම් භාරදීමේ වැඩසටහනට සමගාමීව එම ඉඩම් කොටස තුළ පිහිටි පැරණි සාම්පූර් මහාවිද්‍යාලයේ ගොඩනැගිලි සහ හිංදු කෝවිල නාවික හමුදාව විසින් නැවත භාවිතයට ගත හැකි පරිදි අළුත්වැඩියා කිරීමට ද කටයුතු කර ඇත.

2007 වසරේ දී නාවික හමුදා පුහුණු පාසලක් වශයෙන් ආරම්භ කෙරුණු සාම්පූර් නාවික කඳවුර 2013 වසරේ දී ශ්‍රීලංනානෞ විදුර ලෙස අධිකාරියට පත් කෙරිණි. එම කඳවුර යටතේ තිබුනු අක්කර 237න් පසුගිය වසරේ අගෝස්තු මස දී අක්කර 60ක් අතිගරු ජනාධිපතිතුමන් විසින් එම ඉඩම් වල මුල් අයිතිකරුවන් වෙත භාරදීම සිදුවූ අතර, එහි ඉතිරි ඉඩම් අක්කර 177 මෙසේ භාරදීම අද සිදු විය. ඒ අනුව සාම්පූර් නාවික කඳවුර ඊට ආසන්න වෙනත් සුදුසු භූමියක මේ වන විට ස්ථාපිත කර ඇත.