ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ 10 වන සංවත්සරය රටවල් 20 ක නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වන දින සිංගප්පූරුවේදී පවත්වනු ලැබීය. එයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් මෙහෙයවන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා‍වේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී විය. මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් වැළැක්වීම සඳහා පියවර ගැනීමට ආසියාතික රටවල් අතර පිහිටුවන ලද පළමු සමුළුව මෙය වන අතර, එය 2004 වර්ෂයේ නොවැම්බර් මස 04 වන දින පළමුවෙන්ම කෙටුම්පත් කළ නමුත්, ක්‍රියාවට නංවන ලද්දේ 2006 සැප්තැම්බර් මස 04 වන දිනයි. වර්තමානය වන විට රටවල් 20 ක රාජ්‍ය නායකයන් මෙම සමුළුව සඳහා අත්වැල් බැදගෙන සිටී.

සංවිධානයේ ගිවිසුම්ගත රාජ්‍යයයන් වනුයේ ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බෲනායි, කොලොම්බියාව, මහජන චීනය, ඩෙන්මාර්කය, ඉංදියාව, ජපානය, කොරියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නොර්වේ, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමයයි.

මෙම සංවිධානයේ තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය 2006 නොවැම්බර් මස 29 වන දින සිංගප්පූරුවේදී නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, 2007 ජනවාරි මස 30 වන දින එය ජාත්‍යන්තර සංවිධානයක් ලෙසින් පිළිගන්නා ලදී. ගිවිසුම්ගත රාජ්‍යයන්ගේ සාමාජිකයන්ගෙන් සමන්විතව 2016 මාර්තු මස 16 සහ 17 යන දෙදින සිංගප්පූරු රජයේ සත්කාරත්වයෙන් 10 වන වරට පවත්වන ලද සමුළුවේදී, පර්යේෂණ හා විෂ්ලේෂණ, හැකියාවන් ගොඩනැංවීම සහ සහයෝගීතාවය වැනි කටයුතු සම්බන්ධයෙන් අනෙකුත් සංවිධානයන් සමග සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංවිධානය ප්‍රශසංසාවට ලක් වූ අතර, ඉදිරියේදීත් මුහුදු කොල්ලකෑම් සහ අවි ජාවාරම් මැඩලීමට කටයුතු කරන බවද එහිදී ප්‍රකාශ කරන ලදී.