නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 18 දෙනෙකු ඊයේ (9) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් නාවික අනුඛණ්ඩ කෝලන්කනත්ත සහ වැල්ලමුන්දලම අතර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කරමින් සිටි ධීවරයින් 3 දෙනෙකු ඩංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

එදිනම, කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් බත්තලංගුන්ඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 15 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රා 5 ක්, සුරුක්කු දැල් 4 ක් සහ G.P.S යන්ත්‍ර 5 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.