දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.

“ස්පිඕන්කොප්” නෞකාව පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ විශාකපට්නම් හි පැවැත්වුනු 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකානු නාවික හමුදාවන් එක්ව ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත IBSAMAR නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා යන අතරවාරයේදී මෙසේ කොළඹ වරායට පැමිණ ඇත.

නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් එම්ඒ බවුචර් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

“ස්පිඕන්කොප්” නෞකාව පෙබරවාරි මස 15 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය. එමෙන්ම ද්විපාර්ශ්වීය සුහදතාවය හා අන්තර් පුද්ගල සබඳතාවයන් ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු නැව් මුළුව විසින් නෞකාවේ දී සංවිධානය කෙරෙන විශේෂ හමුවකටද ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වීමට නියමිතය.