නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට
 

මුලංකාවිල්, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් නච්චිකුඩා ප්‍රදේශයේ දී පසුගිය 8 වන දින උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 30ක් ද අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව හා මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට පියවර ගෙන ඇත.

තවද එදිනම, එරක්කංඩි කලපු ප්‍රදේශයේ නීතිවිරෝධි ධීවර කටයුතු වල යෙදී සිටි තවත් ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සමග මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 8ක් නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සඳහා කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහාය ද ලැබිණි. එහිදී අතංගු දැල් 2ක්, කිමිදුම් වරල් යුගල් 3ක්, කිමිදුම් මුහුණු ආවරණ 2ක් හා ඔක්සිජන් සිලින්ඩර් 15ක් ද අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් ධීවරයින්, මුහුදු කූඩැල්ලන් හා ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කොට ඇත.