2016 ඉන්දීය නෞකා පිරික්සුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව එක්වෙයි
 

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික පුද්ගලයින් 275 දෙනෙකු සහභාගී වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව එක්ව සිටියි. දෙවන වරට සංවිධානය කර ඇති මෙම අන්තර්ජාතික නෞකා පිරික්සුම ඉන්දියාවේ විශාකපට්නම් හි අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ දී පෙබරවාරි මස 4 වන දින ආරම්භ විය.

ඉන්දීය ජනාධිපති නෞකාව වන ඉන්දීය නාවික නෞකා සුමිත්‍ර නෞකාවේ නැගී ගරු ඉන්දීය ජනාධිපති ශ්‍රී ප්‍රනාබ් මුකර්ජි මහතා සහ ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා පෙබරවාරි මස 6 වන දින මෙම අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ නෞකාවන් නිරීක්ෂණය කරනු ලැබිණි. පෙළ 15කින් සැදි ඉන්දීය නාවික හමුදාවේ ගුවන් බලඝනයේ යානා 45කින් සිදු කෙරුණු ගුවන් යානා පියාසර සංදර්ශනය ඉන්දීය ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන් ගේ පිරික්සුමට ලක් කෙරුණු අතර, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානා ද මේ සඳහා එක්විය.

ඉන්දීය නෞකාවන් 71ක් ද, විදෙස් යුද නෞකාවන් 24ක් ද, නාවික පුද්ගලයින් 4000ක් ද මෙම අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වී සිටියි. “සමුදුරු තුළින් නාවික හමුදාවන් එක්සත් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පෙබරවාරි මස 8 වන දින දක්වා පැවැත්වෙන මෙම අන්තර්ජාතික නෞකා පිරික්සුම් අභ්‍යාසය සඳහා ඇමරිකාව, චීනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, කැනඩාව, රුසියාව, දකුණු අප්‍රිකාව, ජපානය, දකුණු කොරියාව, පේරු, චිලී, කොලොම්බියා, බ්‍රසීලය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක නාවික හමුදාවන් එක්ව ඇත.