නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මග පෙන්වීම මත සිදු කෙරුණු මෙම වෙඩි මුර උත්තමාචාරය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා මහතා ද එක් විය.

දිවයින වටා වූ මහ සයුර ආරක්ෂා කරමින් රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් පුද කරනු ලබන මෙම ආචාර වෙඩි මුර චාරිත්‍රය උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා කැපවී කටයුතු කරනු ලබයි.

මෙම ආචාර වෙඩි මුරයේ ඉතිහාසය දෙස බැලීමේ දී දෙවන එලිසබෙත් කුමරිය පිලිප්ස් කුමරු සමග දකුණු අප්‍රිකානු සංචාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුන අවස්ථාවක ඒ වෙනුවෙන් ඔවුන් පිළිගැනීම සඳහා ආචාර වෙඩි මුරයක් පැවැත්වීමට සූදානම් කර ඇත. නමුත් එම ගමන අතරතුර දී එලිසබෙත් කුමරිය ගේ පියා වන හයවන (6) ජෝර්ජ් රජු මියගිය පුවත කුමරිය වෙත දැන ගැනීමට ලැබීම හේතුවෙන් ලංකා ගමන අවලංගු කර ඇය නැවත සිය රට බලා ගොස් ඇත. නමුත් රජුගේ අවමගුල පැවති දිනයේ දී එවකට විජය නෞකාවේ සවිකර තිබූ මි.මි. 52 වර්ගයේ අවියකින් ආචාර වෙඩි මුර 56ක් පවත්වා ඇත. ඒ මිය යන විට හයවන ජෝර්ජ් රජුගේ වයස අවුරුදු 56ක් වූ නිසාවෙනි.

මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දී වන අතර, එහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 1949 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. එහි දී එක් අවියක් පමණක් උපයෝගී කර ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් මෙම ආචාරය සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03ක් සවිකොට තිබුණි. නමුත් මෑත කාලයේ දී කොළඹ වරාය සීඝ්‍ර සංවර්ධනයකට හා විශාල කිරීමකට ලක් වූ බැවින් 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කොට ආචාර වෙඩි මුර පවත්වා ඇත. එතැන් පටන් අද දක්වාම නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතිය වෙත ආචාර දැක්වීම සඳහා ‍නාවික හමුදාව විසින් මෙකී කාර්යය සිදු කරනු ලබයි.