රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්වෙයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 23 වන දින පානම ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්විණ. ගිණිකොන නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සුහද හමුව සඳහා ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදූ සහ ආබාධිතව විශ්‍රාම ගන්වා සිටින නාවික රණවිරු පවුල් 55 ක සාමාජිකයෝ සහභාගී වූහ

සිය මාතෘ භූමිය වෙනුවෙන් අභීතව සටන්වැද තම ජීවිතය පූජාකල නාවික රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසු එම සුහද හමුව ආරම්භ වූ අතර, එහිදී වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්ද පවත්වා වැටුප්, විශ්‍රාම වැටුප් හා රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කාර්යාල ස්ථාපිත කර අවශ්‍ය පහසුකම්ද සලසා දෙන ලදී.

දරු දැරියන් වෙනුවෙන් සංගීත සංදර්ශනයක් හා විශේෂ විනෝදාත්මක අංගයන් රැසක් සංවිධානය කර තිබූ අතර, 65 වන නාවික දින සැමරුමට සමගාමීව සංවිධානය කරන ලද එම සුහද හමුව අවසානයේදී රණවිරු පවුල් සඳහා රුපියල් දස දහසක් වටිනා මුදල් ප්‍රේශනපත් ප්‍රධානය කරන ලද අතර දරු දැරියන් සඳහා තෑගි පාර්සල්ද පිරිණමන ලදී.