ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පැවති රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව
 

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 21 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්විණ. බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සුහද හමුව සඳහා ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදූ සහ ආබාධිතව විශ්‍රාම ගන්වා සිටින නාවික රණවිරු පවුල් 410ක සාමාජිකයෝ සහභාගී වූහ

සිය මාතෘ භූමිය වෙනුවෙන් අභීතව සටන්වැද දිවිපිදූ නාවික රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් එම සුහද හමුව ආරම්භ වූ අතර, එහිදී වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්ද පවත්වා වැටුප්, විශ්‍රාම වැටුප් හා රක්ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කාර්යාල ස්ථාපිත කර අවශ්‍ය පහසුකම්ද සලසා දෙන ලදී.

දරු දැරියන් වෙනුවෙන් සංගීත සංදර්ශනයක් හා විශේෂ විනෝදාත්මක අංගයන් රැසක් සංවිධානය කර තිබූ අතර, 65 වන නාවික දින සැමරුමට සමගාමීව සංවිධානය කරන ලද එම සුහද හමුව අවසානයේදී රණවිරු පවුල් සඳහා රුපියල් දස දහසක් වටිනා මුදල් ප්‍රේශනපත් ප්‍රධානය කරන ලද අතර දරු දැරියන් සඳහා තෑගි පාර්සල්ද පිරිණමන ලදී.