65 වන නාවික දින සැමරුමට සමගාමීව “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” යන ග්‍රන්ථය එළිදැක්වේ
 

යටත් විජිත රාජ්‍යයක සිට ස්වෛරී සමූහ ආණ්ඩුවක් බවට පත්වූ අවධියෙහි ශ්‍රී ලංකාව සතු නාවික හමුදාව අලලා උපදේශක ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) සෝමරිසි දේවේන්ද්‍ර මහතා විසින් රචිත “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” (We must have a Navy) යන ග්‍රන්ථය 65 වන නාවික දින සැමරුමට සමගාමීව 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ සංවිධානය කෙරුණු සුහද හමුවේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

1937 වර්ශයේ සිට 1972 වර්ෂය දක්වා නාවික හමුදාවේ වැදගත් සිද්ධීන් විස්තර කරමින් රචිත ග්‍රන්ථය කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක එකතුවකි. එහි වැදගත් අංගයක් වනුයේ එම කාල කාලවකවානුවේ සන්නද්ධ හමුදා සහ රට තුල සිදුවූ සිද්ධීන් පාඨකයාහට පහසුවෙන් වටහාගැනීමට හැකි වන අයුරින් සමාජ-දේශපාලනික පරාමිතියක්ද ග්‍රන්ථයේ ආඛ්‍යානයට රචකයා විසින් අන්තර්ගතකොට තිබීමයි.

මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් බැසිල් ගුණසේකර, අද්මිරාල් සිසිල් තිසේරා, අද්මිරාල් දයා සඳගිරි, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් තිසර සමරසිංහ, අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ අද්මිරාල් ජයන්ත පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වූ අතර, හිටපු නාවික හමුදාධිපති රියර් අද්මිරාල් ඒ.ඩබ්.එච් පෙරේරා මහතාගේ බිරිද වන ඒ.ඩබ්.එච් පෙරේරා මහත්මිය, හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඩබ්.ඩබ්.ඊ.සී ප්‍රනාන්දු මහතාගේ බිරිද වන මොනිකා ප්‍රනාන්දු මහත්මිය සහ ග්‍රන්ථයේ කතුවරයාගේ බිරිද වන ‍දේවේන්ද්‍ර මහත්මියද සහභාගී වූහ. ග්‍රන්ථය නිල වශයෙන් එළිදැක්වීම සනිටුහන් කරමින් එහි එක් පිටපතක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් දකුණු සහ අග්නදිග ආසියාව සඳහා වූ එක්සක් ජනපද නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ආචාර්ය එමී සියරයිට් මහත්මිය වෙත ප්‍රදානය කරන ලදී.