නාවික නිවාස සංකීර්ණය ආරක්ෂක රාජ්‍ය ඇමති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුර තුළ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකීර්ණය අද (18) උදෑසන යෙදුනු සුභ මොහොතින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා විසින් විවෘත කෙරිණි. වැලිසර නාවික කඳවුර වෙත පැමිණි අමාත්‍යවරයා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා‍ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. නාවික හමුදාවේ සේවයේ යෙදී සිටින නාවිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද මෙය නිවාස 32 කින් සමන්විත වේ.

සිව් මහල් ගොඩනැගිලි 02 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක් තුළ නිවාස 16 බැගින් පිහිටා ඇත. එහි සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයකින් යුක්ත වේ. නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 128 කි. මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, බටහිර නාවික විධාන ආඥාපති ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම වැලිසර නාවික කඳවුරේ සේවයේ නියුතු නාවිකයන් විශාල පිරිසක්ද සහභාගී විය.

මෙම නිල විවෘත කිරීමේ උත්සවය සංකේතවත් කරමින් විවාහක නිවාස ලාභියෙකු වෙත යතුරු ප්‍රදානය කිරීමක් ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තුමන් අතින් සිදු කෙරිණි.