නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී දෙසැම්බර් මස 12 වන දින පැවැත්විණි.

නාවික හමුදාව අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන, ආයතන සහ නෞකා වලට අයත් ධජයන් 80කට සෙත් පැතීම එහිදී සිදු කෙරිණි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම උත්සවය, අටමස්ථානාධිපති උතුරු මැද මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පූජ්‍ය පණ්ඩිත පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී විය.

ධජ ආශිර්වාද පූජාවට සමගාමීව නාවික හමුදා බෞද්ධ සංගමය මගින් 2015 දෙසැම්බර් මස 11 වන දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී කප්රුක් පූජා පිංකමක් ද පැවැත්විණි. දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම, ආගමික හා සමාජ සුභසාධක වැඩසටහන් වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සමරනු ලැබිණි.