නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන් අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන් අද (10) ඇමතීය. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය හා පුහුණුව ලබන නිලධාරීන් හඳුන්වා දෙනු ලැබීය.

“අපගේ අවසන් සීමාව සාගරයයි: අනාගත යුද්ධෝපායන් සඳහා නාවික හමුදාවේ කාර්යභාරය” යන තේමාව මුල්කර ගනිමින් නාවික හමුදාධිපතිතුමන් සිය දේශනය සිදු කළ අතර, පුළුල් සාගරික ආරක්ෂාවක් සඳහා නාවික හමුදාව ශක්තිමත් කරවීමේ ඇති වැදගත්කම පිළිබඳව එහිදී අවධානය යොමු කරවීය. දූපත්වාසීන් ලෙස අප ඉන්දියන් සාගර කලාපයේ මූලෝපායිකව වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසට ශ්‍රී ලංකාව දියුණු කරවීමේ වැදගත්කම පෙන්වාදුන් ඔහු සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන සාගරික තර්ජනයන්, සාගරික ත්‍රස්තවාදය, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මිනිස් ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් අප හට අභියෝගයක් වී ඇති ආකාරය ද විස්තර කළේය. සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම, තෙල් සහ රසායනික කාන්දුවීම් හේතුවෙන් සිදුවන සාගරික දූෂණය, නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක බලකාය හමුවේ පවතින අභියෝගයන් බවද පෙන්වාදුන් ඔහු පසුගියදා පැවති සය වන ගාලු කථිකා සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය සිදුකළ ගරු අග්‍රාමාත්‍යතුමන් සඳහන් කළ කරුණු එම අභියෝග ජයගැනීම සඳහා උපයෝගී කරගත හැකි ආකාරය ද විස්තර කළේය.

අනාගත හමුදා නායකයින් බිහි කිරීම සඳහා විශේෂ හමුදා මෙහෙයුම්වල හා ශාස්ත්‍රීය යෙදවුම්වල ඇති වැදගත්කම ද ඔහු එහිදී සඳහන් කළේය. අධ්‍යාපනය කිසිදා නිම නොවන බවත්, පොතපත කියවීමේ පුරුද්ද වර්ධනය කරගැනීමත්, යහපත් හැසිරීම් හා ආචාර ධර්ම සහිත පුද්ගලයකුවීමේ වැදගත්කමත්, වරදාන හා වරප්‍රසාද මෙන්ම පෞද්ගලික ප්‍රයෝජනයන් උදෙසා උසස්වීම් කෙරෙහි පමණක් අවධානය යොමු නොකර යහපත් ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු වශයෙන් සංවර්ධනය වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. හිටපු ඉන්දීය නාවික ප්‍රධානියෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සෑම් මැනෙක්ෂෝව් සඳහන් කළ පාඨයක් වන “වෘත්තීය දැනුම හා වෘත්තීය නිපුණතාවය නායකත්වයේ ප්‍රධාන ගති ලක්ෂණ වේ. ඔබගේ රැකියාව දන්නේනම් හා එය නිවැරදිව සිදුකළ යුත්තේ කෙසේද යන්න ඔබ දන්නේ නම් ඔබට මිනිසුන් මෙහෙයවිය හැක. එසේ නොවේනම් කවදාවත් ඔබට නායකයෙක් විය නොහැක.” උපුටා දක්වමින් නාවික හමුදාධිපතිතුමන් සිය හරවත් කතාව නිමාවට පත් කළේය.

‍නාවික හමුදා‍ධිපතිතුමන්‍ ඉදිරිපත් කළ දේශනය ඇගයීමට ලක්කළ පුහුණුව ලබන නිලධාරීන් එහි වඩාත් අවධානයට ලක්වූ කරුණු පිළිබඳව ඔවුනට ඇති ගැටළු විමසමින් නාවික හමුදාධිපතිතුමන්ගේ දැනුම හා අත්දැකීම් තවදුරටත් සිය පුහුණුවෙහි සාර්ථකත්වය සඳහා උකහා ගැනීමට ද අවස්ථාව ලබාගන්නා ලදී. අණ හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලයන් හි රාජකාරී කිරීම සඳහා මාණ්ඩලික විද්‍යාලීය පුහුණුව සාර්ථකව නිම කිරීම ප්‍රධාන සුදුසුකමක් වන බැවින්, ඒ සඳහා තම දීප්තිමත් නාවික දිවියේ අත්දැකීම් සමුදාය හා දැනුම ඔවුන් වෙත ලබාදීමට නාවික හමුදාධිපතිතුමන් නොපැකිළිව ඉදිරිපත්විය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ශ්‍රවනාගාරයේ පැවති මෙම දේශනය සඳහා පුහුණුව ලබන ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම විදෙස් හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. ගෞරවනීය සහභාගීත්වය වෙනුවෙන් එහිදී නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.