“2015 ගාලු කථිකාව” ඓතිහාසික ගාලු පුරවරයේදී ඇරඹෙයි


රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (23) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ විය. “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 36ක සහ ජාත්‍යන්තර සංවිධාන 10ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් 150කට වැඩි පිරිසක් සහභාගී වී සිටියි.

සමුළුවේ පළමු දින සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර, එහි සමාරම්භක දේශනය ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් ඉදිරිපත් කරන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පිළිගැනීමේ කථාව සිදුකළ අතර, පළමු දින සැසිය සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මහතා, නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා, තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් මෙන්ම රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

ගරු අග්‍රාමාත්‍යතුමන් සිය කතාවේදී සඳහන් කර සිටියේ තිරසාර ගෝලීය හා සාගරික සාමය පිළිබඳ මූලික සිද්ධාන්ත කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ආරක්ෂක අමාත්‍යාංශය කාලෝචිත තේමාවක් යටතේ මෙම සමුළුව සංවිධානය කර ඇති බවයි. ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව සාගරික සම්පත් මූලික කරගත් ජීවනෝපායන් සහිත ඉතා කුඩා දිවයිනක් බවද අග්‍රාමාත්‍යතුමන් එහිදී පැවසීය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම මත අප රටෙහි ආර්ථික සමෘද්ධිමත් බව ළඟා කර ගැනීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් මෙන්ම චීනය හා යුරෝපය වැනි රටවල් සමග ද්විපාර්ශ්වික මෙන්ම බහු පාර්ශ්වික වශයෙන් ශක්තිමත් සබඳතාවයන් පවත්වාගත යුතු බවත්, ඉදිරියේදී අමෙරිකා එක්සත් ජනපදය සමග නිදහස් කර්මාන්ත පිළිබඳ ගිවිසුම් ඇතිකරගැනීම සඳහා සාකච්ජා කිරීමට අදහස් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී. තවද, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ වේගයෙන් නැගී එන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස කැපී පෙනෙන බැවින් එය ආරක්ෂා කර ගැනීම අප රටෙහි ආරක්ෂාවට ඉතා වැදගත් බවද එතුමන් එහිදී අවධාරනය කර සිටියේය. එමෙන්ම අන්‍යොන්‍ය වශයෙන් සාගරික ආරක්ෂාවේ නිමැවුම්කරුවා ලෙසින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගරය සෑම රටකටම බහුපාර්ශ්වීය සබඳතා සඳහා ඉතා වැදගත්වේ. ඒ තුළ සාධනීය බහු පාර්ශ්වීය පාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ඇති බවද සඳහන් කර සිටියේය. එනමුත් මෙම ක්‍රියාදාමය ආසියානු පැසිෆික් කලාපය මෙන් ඒකාබද්ධ ආර්ථිකයක් ලෙස ක්‍රියාත්මක නොවන බවද ඉන්දියානු සාගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අඩුව පිරවිය වුතු බවද එතුමන් ප්‍රකාශ කළේය.

සාගරික ආරක්ෂාව කෙරෙහි සංවේදී කරුණු මෙන්ම ආරක්ෂක වශයෙන් වැදගත් ස්ථාන රැක ගැනීම සඳහා, එක්සත් ජාතීන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ගේ ද සහාය ඇතිව එක්ව කටයුතු කළ හැකි බහුපාර්ශ්වීය සංසදයක් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැමති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. සාමූහික ප්‍රවේශයක් වශයෙන් වර්ගීකරණය කළහැකි එවැනි සංසදයක් පොදුවේ විශේෂයෙන් ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සඳහා බලපාන ගැටලු රැසක් පිළිබඳ විවෘත වූ පුළුල් සංවාදයක් ගොඩනැගීමට හා ඉන්දු-පැසිෆික් කලාපය සඳහා ද ස්ථාපිත කළ හැකි කාලෝචිත යාන්ත්‍රනයක් සඳහා මෙය ඉතා හොඳ වේදිකාවක් වන බවද සඳහන් කර සිටියේය. මෙම ක්‍රියාවලිය ආයතනගත වන්නේනම් ශ්‍රී ලංකාවට හා අනෙකුත් රටවලට පොදු ප්‍රදේශයන් හරහා ඒකාබද්ධ හවුල්කරුවන් වශයෙන් කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත. එවැනි පසුබිමක් තුළ, සම්භාවනීය පිරිස් රැසක් එක්ව සිටින මෙම සමුළුවේ දී ගෝලීය ප්‍රජාව මුහුණදෙන අභියෝගයන් රාශියකට විසඳුම් ලබාගැනීම සඳහා දැනුම හුවමාරු කරගත හැකි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම සමුළුවේ පිළිගැනීමේ කථාව සිදුකළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා පැමිණි සිටි සියලු දෙනා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා බවද, සයවන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍යතුමන් හට සිය ගෞරවනීය ස්තූතිය පළ කරන බවද සඳහන් කර සිටියේය. සමුළුව සාර්ථකව සංවිධානය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සිදුකළ මග පෙන්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන බවද ඔහු සඳහන් කළේය. සාගරික ආරක්ෂාව සඳහා වන අභියෝගයන් පිළිබඳව සඳහන් කිරීමේදී සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් හේතුවෙන් ඒවා අතිශයින් සංකීර්ණ බවට හා වඩාත් පැටලිලි සහගත තත්වයකට පත්ව ඇති බවත්, ත්‍රස්තවාදය, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මිනිස් ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් ඒ සඳහා හේතුවී ඇති බවත්, මෙම අභියෝග ජයගැනීමට නම් එක්ව සහ සහයෝගීත්වයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔහු සඳහන් කර සිටියේය. සාගරය කේන්ද්‍ර කොටගත් බොහෝමයක් ගැටළු නිරාකරණය කරගැනීම සඳහා ස්ථාවර විසඳුමක් ලබාගැනීමට නම් කලාපීය හා ලෝක ජාතීන් සමීපව කටයුතු කළ යුතු බව සඳහන් කළ නාවික හමුදාධිපතිතුමන්, ආර්ථික, රාජතාන්ත්‍රික හා හමුදාමය ක්‍රියාකාරකම් හි සාර්ථකත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා වත්මන් රජයේ වැඩපිළිවෙල හා ඒ සඳහා ක්‍රියාකාරී අනෙකුත් සංවිධානයන්ගෙන් ලබාගෙන ඇති දායකත්වය අප රට නව මාවතකට යොමු කර ඇති බවද සඳහන් කළේය. එහිදී නාවික හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලොව පුරා සිටින මිත්‍රශීලී නාවික හමුදාවන්හි සිටින විද්වතුන්ගේ හා ලොව ප්‍රමුඛ සංවිධානයන්හි නියෝජිතයින්හට ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට හා අප හමුවේ පවතින අනාගත අභියෝගයන් ජය ගැනීම සඳහා යහපත් කතිකාවක් ගොඩනැගීමට මෙම ගාලු කථිකාව මනා තෝතැන්නක් වන බවයි.