නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. රියර් අද්මිරාල් ජීඒ අන්යන්ක්පෙලේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නයිජීරියානු නාවික හමුදා නියෝජිත පිරිසට කොමදෝරු ඒසී ඔනොනොමෙ මහතා සහ කපිතාන් ඩීඅයිආර්අයි ඔන්යෙන්මා මහතා ඇතුළත් විය.

එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමා සමග ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ ක්‍රියාන්විත හා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා‍ව විසින් නිෂ්පාදනය කරනු ලබන අභ්‍යන්තර වෙරළාරක්ෂක යාත්‍රා යොදා ගැනීම සහ නාවික පුද්ගලයන්ගේ තාක්ෂණික පුහුණුව සම්බන්ධයෙන් ඔවුන් සිය අවධානය යොමු කරන ලදී. තවද, නාවික හමුදාවෙන් ලද උණුසුම් ආගන්තුක සත්කාර සහ නාවික හමුදාවේ ප්‍රමුඛතම නාවික පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණුව ලබන නයිජීරියානු ශිෂ්‍යභට නිලධාරීන් දෙදෙනා හට ලබා දී ඇති විශිෂ්ඨ පුහුණුව සම්බන්ධයෙන් නයිජීරියානු නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බවද ඔවුන් ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.