ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය

ඉන්දීය රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නිදහස් කිරීම අද (13) දින නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් වන L 820 සහ වෙරළාරක්ෂක යාත්‍රාවක් වන CG 46 යන යාත්‍රා මගින් ඉන්දීය ධීවරයන් 78 දෙනෙකු ආරක්ෂිතව කන්කසන්තුරය මුහුදු සීමාවට උතුරින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සාගර්” නම් නෞකාව වෙත භාර දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන රණරිසි නෞකාව මගින් අනෙකුත් ඉන්දීය ධීවරයන් 48 දෙනා ආරක්ෂිතව මන්නාරමට වයඹ දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ “රාජ් කමල්” නෞකාව වෙත භාර දෙන ලදී.