සිය 50 වන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජපාන නාවික නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් දෙක අද දින (10) දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකා පිළිගන්නා ලද අතර, 2009 වර්ෂයේ සිට මේ දක්වා ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට (JMSDF) අයත් නෞකාවන් කොළඹ වරායට පැමිණි 50 වන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වී ඇත.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෑතකදී ජපානයේ සිදු කල සංචාරයේදී දෙරටේ නායකයන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය, තොරතුරු හුවමාරුව සහ ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඇති වැදගත්කම අවධාරණය කර ඇත. ඒ අනුව ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවන්, 2011 වර්ෂයේ 08 ක්, 2012 වර්ෂයේ 12 ක්, 2013 වර්ෂයේ 11 ක්, 2014 වර්ෂයේ 11 ක් සහ 2015 වර්ෂයේ ‍මේ දක්වා නෞකා 08 ‍ක් ද, දෙරට අතර ඇති දිගුකාලීන මිත්‍ර සම්බන්ධතා සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයන්හි නිරත වී ඇත.

ජපන් නාවික හමුදාවේ තුන්වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් “ට‍කේෂි යොෂිඔකා”, නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් “ෂියුජි ඔනෝ”, කොමාණ්ඩර් “මසනෝරි අමෙමියා” සහ ජපන් වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් “මසහරු ෆුජිමොටෝ” යන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට ශ්‍රීලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් “මොටොට්ෂුගු ශිගෙකාවා” මහතා ද එක්විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

මෙම නෞකා නොවැම්බර් 11 වන දින පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, දෙරටහි නාවික හමුදාවන් අතර වෘත්තීමය විශේෂඥ දැනුම වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග යාත්‍රා කිරීමේ අභ්‍යාසයක්ද පවත්වන ලදි.