ඉන්දීය නෞකා ත්‍රිත්වයේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ත්‍රිකුණාමළ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “කෝරා”, “කිර්පන්” හා “සාවිත්‍රි” යන නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අශෝක් රාඕ, කොමාණ්ඩර් ඒබ්‍රහම් සැමුවෙල් සහ කොමාණ්ඩර් පර්ශාන්ට් නේගි අද (27) ත්‍රිකුණාමළය නාවික හමුදාධිපති නිල නිවස්නයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.   

අණදෙන නිලධාරීන් හා නාවික හමුදාධිපතිතුමන් අතර හමුවේදී දෙරටේ නාවික හමුදාවන් සඳහා අන්න්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව මෙන්ම ත්‍රිකුණාමළයේදී පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසය පිළිබඳව කරුණු සාකච්ජා කෙරිණි. දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් සබඳතාවයන් වර්ධනය කර ගැනීම මෙන්ම කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් දින 6ක් පුරා පැවැත්වෙන මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කළ ඇරයුම පිළිගැනීම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් විසින් සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. 

මෙහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සුහදත්වය සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද සහභාගී විය.