ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ඔක්තෝබර් මස 27 වන දින ආරම්භ කෙරුණු අතර එය නොවැම්බර් මස 1 වන දින දක්වා ත්‍රිකුණාමළය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වසරේ පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 6 ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 6 ක්ද, ඉන්දීය නාවික හමුදාවේ නෞකා 3 ක්ද සහභාගී වේ.

සහයෝගීතාවය, සම්බන්ධීකරණය සහ එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම මෙන්ම, ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම තුළින් දෙරටේ නාවික හමුදා අතර අන්තර් සන්නිවේදන හැකියාවන් සහ තාක්ෂණික ගැලපීම් වැඩිදියුණු කර ගැනීම මෙම අභ්‍යාසය පැවැත්වීම තුළින් බලාපොරොත්තු වේ.

මෙමගින් නෞකා ස්ථානගත කිරීම හා සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා ද්‍රව්‍ය හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අවස්ථාව සැලසෙනු ඇත.

සාගරික ක්‍රියාකාරකම් වලදී ඉන්දීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය සහාය නිරන්තරයෙන් දක්වන අතර, නොකඩවා සිදු කරන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන් අන්න්‍යෝන්‍ය අවබෝධය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම තුළින් කළාපයේ සාගරික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මහත් සේ උපකාරී වේ.