විපතට පත් ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් බේරා ගනී

සැප්තැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක්, මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කරන ලදී. නාවික යාත්‍රාව එම ස්ථානයට ලගා වන විට විපතට පත් ධීවරයින්ට සහාය විය හැකි දුරක වෙනත් යාත්‍රා නොතිබීම හේතුවෙන් ධීවරයන් තිදෙනෙකු මහත් ජීවිත අවධානමකට ලක් වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ධීවරයින් බේරා ගැනීමෙන් අනතුරුව තලෙයිමන්නාරම නාවික කදවුරට රැගෙනවිත් වෛද්‍ය පහසුකම් ඇතුළු අවශ්‍ය ‍අනෙකුත් සියළු පහසුකම් ලබා දුන් අතර, ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව බේරා ගැනීමට හැකියාවක් නොතිබිණී. බේරාගත් ධීවරයින් රාමේශ්වරම්හි පදිංචි 50, 53 සහ 56 හැවිරිදි පුද්ගලයන් වේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිටියද ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවන්ට නාවික හමුදාව මානුෂීය හේතූන්මත සෑම විටම සිය සහය ලබා දෙනු ලබයි. පසුගිය සතිය තුල ඉරනතිවු සහ අනලතිව් දූපත් වලට ඹබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ආපදාවට පත්ව සිටි ඉන්දීය ධීවරයන් 09 දෙනෙකු සහ ධීවර යාත්‍රාවන් 02 ක් බේරා ගැනීමටද නාවික හමුදාවට හැකි විය. අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් පසුව එම ධීවරයන්, අළුත්වැඩියා කරන ලද තම යාත්‍රාද සමඟින් අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගන්නා ලදී.