අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි

අසූව දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට නාවික හමුදා‍ සේවයෙන් විශ්‍රාම ලබා සිටින රග්බි ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ කෙටි උත්සවයක් වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ඊයේ (30) පැවති අන්තර් විධාන රග්බි තරඟාවලිය අතරතුරදී පැවැත්විණි.

අසූව දශකයේදී නාවික හමුදාධිපතිතුමා හා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් මෙලෙස උපහාරයට ලක්විය. එවකට ඔවුන් සමඟ ක්‍රීඩා කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අංක 8 හා වින්ග් ෆෝර්වර්ඩ් යන ස්ථානවල ක්‍රීඩා කරමින් නාවික හමුදාවට ජයග්‍රහණ රාශියක් ළඟාකර දීමට සමත්විය. එක්සත් රාජධානියේ ඩාර්ට්මත් හි බ්‍රිටේනියා රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලබන කාලයේදී එහි හොකී කණ්ඩායම ද නියෝජනය කළ එතුමා රගර්, රුවල් ඔරු හා පැදි යාත්‍රා යන ක්‍රීඩාවන් සඳහා දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් නාවික හමුදා වර්ණ ලබා ඇති දක්ෂ ක්‍රීඩකයෙකි. දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයකු වන ඔහු නාවික හමුදාව තුළ ගොල්ෆ් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කර ඇති අතර, එහි වත්මන් සභාපතිවරයා ද වේ.

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රයිෆල්, පතරොම් තුවක්කු හා පිස්තෝල භාවිතා කරනු ලබන ත්‍රිත්ව අවි තරඟාවලින් හිදී ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වෙන් හා සැඟවුණු වෙඩික්කරු ඉසව්වෙන් තම වෙඩි තැබීමේ දක්ෂතාවයන් මනාව පිළිඹිබු කර ඇත.

ක්‍රීඩාවේ නියැලෙමින් නොනැවතුනු එතුමා රග්බි පාපන්දු,  රුවල් ඔරු හා පැදි යාත්‍රා, ජූඩෝ, කරාටේ සහ මල්ලවපොර යන ක්‍රීඩා සංචිතයන් හි සභාපති ධූර‍යන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක යන ධූරයන් දරමින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා පරිපාලනය වෙනුවෙන් ද අනගි මෙහෙවරක් සිදුකර ඇත. පසුව ජාතික තලයේ ක්‍රීඩා පරිපාලනයට එකතු වූ එතුමා ජාතික රයිෆල් සංගමයේ සභාපති වශයෙන් එම ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබාදුන් දායකත්වය ප්‍රශංසනීය වේ.

අන්තර් විධාන රග්බි තරඟාවලිය අතරතුරදී පැවැත්වුණු කෙටි උත්සව අවස්ථාවේදී නාවික හමුදාධිපති තුමන්, අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ කොමදෝරු එන්ජීබී තෙන්නකෝන්, ලුතිනන් කොමාණ්ඩර් එම්බීඒ බණ්ඩාරනායක, පාලක ප්‍රධාන සුළු නිලධාරී යූකේ රංජිත්, පාලක ප්‍රධාන සුළු නිලධාරී එන්පීජේ පියරත්න, පාලක ප්‍රධාන සුළු නිලධාරී පීඑම්ටී කළුආරච්චි, පාලක ප්‍රධාන සුළු නිලධාරී පීඒ රොද්‍රිගෝ, සමූහ ප්‍රධාන සුළු නිලධාරී ආර්ඩීයූ විජේරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී එන්ඩබ්එම්එස්එස් නවරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී එම් සෙරිෆ්ඩීන්, සුළු නිලධාරී ආර්එල් ප්‍රියන්ත, සුළු නිලධාරී එන්ඒඑස්ඒ පෙරේරා, සුළු නිලධාරී ටීඑස්එම් බිංගලිෆ්, සුළු නිලධාරී බී බාලේන්ද්‍රන්, සුළු නිලධාරී එස්එච් ගුණසේන, නායක නැවි ඩබ්එම්යූඑම්පී ප්‍රනාන්දු සහ නායක නැවි ඩබ්එල් කරුණාරත්න යන ක්‍රීඩකයන් නාවික හමුදාව තුළ රග්බි ක්‍රීඩාව නගා සිටුවීමට සහ ජයග්‍රහණ ළඟාකර දීමට දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ඔවුන්ට සිය ප්‍රනාමය පුද කළේය.

මෙම අවස්ථාවට නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු එච්ඒයූඩී හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂක ක්‍රීඩා කොමදෝරු කේඒඑස් උත්පල සහ රග්බි සංචිතයේ ගෞරවනීය ක්‍රීඩා භෞත චිකිත්සකවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය කොමදෝරු ජීඑස්ආර් ජයවර්ධන යන මහත්වරුන් ද සහභාගී විය.