2015 අන්තර් විධාන රග්බි තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානයත් දිනා ගනියි

2015 අගෝස්තු මස 28 වන දින සිට 30 වන දින දක්වා වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. එහි දෙවන ස්ථානය හිමිකරගත් පුහුණු විධානය ˝කුසලාන˝ ශූරතාවයේ අනුශූරයන් බවට පත්විය. තරඟාවලියේ තෙවන ස්ථානය දියත් විධානය හිමිකරගත් අතර, බටහිර නාවික විධානය එහි ˝පලග˝ ශූරතාවයත්, පුහුණු විධානයේ ˝බී˝ කණ්ඩායම බඳුන ශූරතාවයත් දිනා ගත්තේය.

කාන්තා අංශයේ පැවති අවසන් මහා තරඟයෙන් දකුණු නාවික විධානය ශූරතාවයත්, නැගෙනහිර නාවික විධානය අනුශූරතාවයත් දිනා ගත් අතර, උතුරු නාවික විධානය එහි තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පුහුණු විධානය නියෝජනය කළ ශිෂ්‍ය භට නිලධාරී කේඩබ්ලිව්එම්අයිඑස් රාජපක්ෂ දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දකුණු නාවික විධානයේ බල ශාරීරික අභ්‍යාසක පී දිලානි විසින් දිනා ගන්නා ලදී.

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ජයග්‍රාහකයින් හට කුසලාන ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා, බටහිර විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වූ අතර, අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ද මෙම පිරිසට එක් විය. තරඟය නැරඹීම සඳහා පැමිණි නාවික හමුදා රග්බි කණ්ඩායමේ පැරණි සාමාජිකයින් හට සිය කෘතවේදීත්වය පළකරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානයක් සිදු කෙරුණු අතර, එහිදී ඔවුන් විසින් ද නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. අනතුරුව නාවික හමුදාධිපතිතුමන් එම ක්‍රීඩකයින් හා සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.