ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. පසුගිය 22 වන දින පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම පිරිස රටවල් 05කට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ රට වටා පිහිටි විවිධ ආරක්ෂක හමුදා ආයතන රැසක සංචාරය කිරීමට ද නියමිතය.

අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී වශයෙන් පැමිණි ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද කතාබහක නිරත විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳව සහ ආරක්ෂක හා ජාතික අරමුණු ළඟාකර ගැනීම සඳහා ඉන් ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.