අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සාගරික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙස වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2015 අගෝස්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාගරික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත් කර ඇත.

වසර 37 ක අඛණ්ඩ සේවයකින් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වන නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කර විශ්‍රාම ගිය අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකි. 1978 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් තම නාවික හමුදා ජීවිතය ආරම්භ කල ඔහු ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව හදාරණ ලදී. අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඉන්දියාවේදී අවි පිලිබඳ විශේෂඥ පාඨමාලාව සහ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇති අතර, පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ජාතික ආරක්ෂක පාඨමාලාවද හදාරා ඇත. තවද, එතුමා ආරක්ෂක අධ්‍යයන හා ආරක්ෂක ක්‍රමෝපායන් පිලිබඳ විද්‍යාපති උපාධිධාරියෙකුද වේ.   


යුධ බිමේදී දැක්වූ දක්ෂතා අගයනු වස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා රණ වික්‍රම පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, ඔහු විසින් සිදු කරන ලද ආදර්ශමත් සේවය, කැපවීම සහ නාවික හමුදා‍ව වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය නාවික හමුදාධිපතිවරුන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වී ඇත.