වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි

උත්සව සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔකඳ සහ තලවිල යන ප්‍රදේශයන් හි නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

කතරගම වාර්ෂික ඇසළ උත්සවයට සහභාගී වීම සඳහා යමින් සිටින විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ඔකඳ දේවාලය වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක් ජීවිතාරක්ෂක කණ්ඩායමක් ඔකඳ වෙරළ තීරයේත්, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තලවිල වෙරළ තීරයේත් ජීවිතාරක්ෂක කණ්ඩායම් 03ක් අවශ්‍ය  ජීවිතාරක්ෂක උපකරණ ද සමගින් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

පසුගිය පොසොන් සමයේ අනුරාධපුර හා ත්‍රිකුණාමළ ප්‍රදේශයේ වැවි 11 ක් ආවරණය කරමින් නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් 20ක් පමණ යොදවා සිටි අතර, නුවර වැව, තිසා වැව, කලාවැව හා තන්තිරිමලේ පොකුණ යන ස්ථානයන් හිදී දියේ ගිලී අනතුරට පත් සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

ගංවතුර හා රළු මුහුදු තත්වයන් වැනි ස්වභාවික ආපදා අවස්ථාවන් හි ආපදාවට ලක්වන පුද්ගලයින් බේරා ගැනීම සඳහා නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝනය සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලබන අතර, ජීවිතාරක්ෂක පුහුණුව ලැබූ නාවික පුද්ගලයින් ගෙන් හා ඒ සඳහාම නිර්මාණය කරන ලද යාත්‍රාවන්ගෙන් එම බලඝනය සමන්විත වේ.