නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඇන්ඩ්එස්එස්) ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 29) දින නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් නැගෙනහිර නාවික ආඥාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන නීල් රොසයිරෝ මහතා 1982 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව සේවයට එක්වී ඇති අතර, මූලික පුහුණුව ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් හදාරා ඇත. තම සේවා කාළය තුළ වේගප්‍රහාරක යාත්‍රාවන්, ප්‍රහාරක නෞකාවන්, මුර සංචාරක නිරීක්ෂණ යාත්‍රාවන් ඇතුළු නෞකා සහ යාත්‍රා රැසකට අණදී ඇති ඔහු, නැගෙනහිර නාවික විධාන මෙහෙයුම් නිලධාරී, දකුණු නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, උතුරු මැද නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, නාවික හමුදා මූලස්ථාන ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික පුද්ගල, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හමුදාධිපතිගේ නාවික සහකාර, අධ්‍යක්ෂ නාවික විදේශ සහයෝගිතා, අධ්‍යක්ෂ සාගරික විශේෂ බලකා, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් වශයෙන් මෙන්ම නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් ද තනතුරු රාශියක අත්දැකීම් ලබා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. ‍

රියර් අද්මිරාල් රොසයිරෝ ඉන්දියාවේ දී සන්නිවේදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති අතර, ඉන්දියාවේ වෙලින්ටන් හි ආරක්ෂක සේවා මාණ්ඩලික පාසලෙන් ආරක්ෂක උපාධිය ලබා ඇත. මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක මුලෝපායන් පිළිබඳ විද්‍යාපති උපාධියත්, පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂක හා යුද උපක්‍රම පාඨමාලාවත් හදාරා ඇත.   

ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් රණශූර පදක්කම, පූර්ණ භූමි පදක්කම, සන්නද්ධ හමුදා දීර්ඝ සේවා පදක්කම, උතුරු හා නැගෙනහිර ‍මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, 50 වන නාවික හමුදා සංවත්සර පදක්කම, උත්තම සේවා පදක්කම, විදේශ සේවා පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම යන පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.

ඔහු 2002 – 2004 වර්ෂයන් හිදී නාවික හමුදා මානව සම්පත් කළමණාකරණ පද්ධතිය සංවර්ධනය සඳහා සෘජුවම විශාල කාර්යභාරයක් ඉටුකර ඇති අතර, 2011 වර්ෂයේදී නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝණය ස්ථාපිත කිරීමට මූලික වී කටයුතු කර ඇත. එමෙන්ම 2010, 2011, 2013 සහ 2014 යන වර්ෂයන් හිදී පැවැත්වුණු ˝ගාලුකථිකාව˝ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයන් සංවිධානය කිරීම හා නාවික හමුදා 60 වන සැමරුම සංවිධානය කිරීම වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන්ගෙන් සේවය ඇගයීමේ ලිපි 05 ක් ලබා ඇති දක්ෂ නිලධාරියෙකි.  

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රියර් අද්මිරාල් රොසයිරෝ මහතා 1983 වසරේ සිට 1989 දක්වා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නි‍යෝජනය කර ඇති අතර, බඳවා ගැනීමේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් ද කුසලාන හිමිකරගෙන ඇත.