උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

අද (ජූලි 23) උදෑසන ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 8.5ක් පමණ උතුරින් වූ මුහුදු සීමාවේදී යාන්ත්‍රික දෝෂයකට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සහය විය.

උතුරු මුහුදේ මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක්, මුහුදේ පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ධීවරයින් පිරිසට අවශ්‍ය ආහාර පාන ලබාදීමට ද ‍මෙහිදී නාවික හමුදාව කටයුතු කළේය.

නාවික හමුදාව, අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාව හා ධීවරයින් පිළිබඳ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ‍කටයුතු කළ අතර, එම ස්ථානයට නාවික හමුදා යාත්‍රාවක් යෙදවීමට ද කටයුතු කළේය.

වඩාත් විනයගරුක නාවික හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අවස්ථා රැසකදී අප මුහුදු සීමාව තුළ මෙසේ අනතුරටපත් වන ඉන්දීය ධීවරයින් හා යාත්‍රා බේරා ගැනීමට කටයුතු කර ඇත.

දැනුවත්වම ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී නීති විරෝධී ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ධීවරයින් හා යාත්‍රා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කලද, යම් අනතුරකට හෝ ආපදාවකට ලක්වු අවස්ථාවලදී ඔවුන් බේරා ගැනීමට හා අවශ්‍ය සහන සැලසීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි.