නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී 2015 ජූලි මස 11 වන දින සිට     ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ලදී.

රියර් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1982 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියකු වශයෙන් සේවයට එක්වී ඇත. සිය මූලික පුහුණුව ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් හදාරා ඇති එතුමා 11 වන බඳවාගැනීමේ දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගනිමින් බ්‍රිතාන්‍ය ඩාර්ට්මත් හි රාජකීය නාවික විද්‍යාපීඨයෙන් (1984-1985) වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබීය.

රියර් අද්මිරාල් රණසිංහ මහතා දිය යට යාත්‍රා විනාශ කිරීමේ යුද ක්‍රමෝපායන් පිළිබඳ විශේෂඥ‍යකු වන අතර, 1999 දී ඉන්දියාවේ වෙලින්ටන් හි පිහිටි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් නාවික මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කර ඇත. තවද 2007 වර්ෂයේදී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ද, 2012 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලි හි ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ද, යුද හා ආරක්ෂක පාඨමාලාවන් හදාරා ඇත.

මධුරාසි විශ්ව විද්‍යාලයෙන් යුද්ධෝපායන් පිළිබඳ පළමු පෙළ ශාස්ත්‍රපති උපාධිධාරි‍යකුද වන ඔහු ඉස්ලාමාබාද් හි ජාතික ආක්ෂක විශ්වවිද්‍යාලයෙන් යුද හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. එමෙන්ම මධුරාසි විශ්ව විද්‍යාලයෙන් යුද්ධෝපායන් පිළිබඳ පළමු පෙළ දර්ශනපති උපාධියද ලබා ඇත. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන් රැසකට අණ දී ඇති ඔහු සමුදුර නෞකාව අධිකාරියට පත්වන අවස්ථාවේ එහි සිටි අණදෙන නිලධාරියායි. එමෙන්ම 2002-2004 වර්ෂයන්හි දී නාවික හමුදා අධිවේගී ප්‍රහාරක යාත්‍රාවන්ට අණදෙමින් විශාල කීර්තියක් ගෙනදුන් දක්ෂ නිලධාරියෙකි.

ඔහු 2008 වර්ෂයේදී දකුණු නාවික පෙදෙස භාර නියෝජ්‍ය ආඥාපතිවරයා වශයෙන්ද, 2012 වර්ෂයේදී එහි ආඥාපතිවරයා වශයෙන්ද, 2013-2014 වර්ෂයන්හි බටහිර නාවික පෙදෙස භාර ආඥාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත. තවද ත්‍රිකුණාමළ නාවික හා සාගරික විද්‍යාපීඨ ආඥාපති, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික (අවි), අධ්‍යක්ෂ සාගරික විශේෂ බලකා සහ අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් වැනි නාවික හමුදාවේ ඉතා වැදගත්  නිලයන් රැසක රාජකාරී කර ඇති අත්දැකීම් වලින් පිරිපුන් දක්ෂ නිලධාරියෙකි.

ඔහුගේ නිර්භීතභාවය හා දක්ෂතාවය අගයමින් රියර් අද්මිරාල් රණසිංහ හට වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම ඇතුළු පදක්කම් හා පළඳනා රැසක් හිමිව ඇති අතර, නාවික හමුදාව වෙනුවෙන් ඉටු කරන ලද අති විශිෂ්ඨ වූ සේවය උදෙසා නාවික හමුදාපතිවරුන් විසින් පිරිනමනු ලබන ප්‍රශංසාත්මක ලිපි රාශියකින් ද පිදුම් ලැබූ නිලධාරියෙකි.

දක්ෂ බැඩ්මින්ට්න් ක්‍රීඩකයකු වන ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාපීඨයෙන් ද ඒ සඳහා වර්ණ ලබා ඇත.