නව නාවික හමුදාපතිතුමා මියගිය රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 13) වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් සුරකිමින් අප මාතෘ භූමියේ නිදහස හා ඒකීයභාවය උදෙසා සිය ජීවිත පුද කරන ලද රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරන ලදී.

යුද්ධය පැවති සමයේ නාවික හමුදාව විසින් දියත් කරන ලද මෙහෙයුම් රැසකටම නායකත්වය සපයා අප මාතෘ භූමියට ස්ථීර සාමයක් උදාකරළීම සඳහා අවංක කැපවීමකින් යුතුව ක්‍රියාකළ දක්ෂ යුද සෙන්පතියෙකු වූ එතුමන්, සිය ප්‍රථම රාජකාරිය වශයෙන් රණවිරුවන් සිහිකිරීම සිදුකළේ තමන් ද රුදුරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සක්‍රියවම දායක වූවකු බව පසක් කරමිනි. දශක තුනක පමණ කාලයක් පුරා ශ්‍රි ලංකාව වෙලාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කර රටේ ජනතාවට නිදහස හා සාමය ගෙනදීම සඳහා රට වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද, සටනේදී තුවාල ලද හා අතුරුදහන් වූ රණවිරුවන් සිහි කිරීම සිදු කෙරුණු අතර, යුද්ධයේදී නොයෙක් ආබාධයනට ලක්වූ නාවික හමුදා රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමක් ද එහිදී සිදු‍ කෙරිණි.

මෙම අවස්ථාවට බටහිර නාවික පෙදෙසභාර ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් හා බටහිර නාවික විධානයේ නාවික නිලධාරීන් රැසක් ද එක් විය.